සිත්තම් අරණ
විශේෂාංග
සුන්දර වලවගං කොමළියේ ලියන්ගස්තොට අමුණේ වගතුග👉
අපේ රට පුංචි වුණත් මේ රට තුළ සංචාරය කරන්නෙකුට නම් මේ රටේ සුන්දර තැන් බලන්න කොච්චර නම් තියෙනවද? ඒකාකාරී ජීවිතයෙන් මිදිලා අලුත්ම අත්දැකීමක් විඳගන්න, වෙනස් වූ පරිසරයකට යන්න අපි හැමෝම කැමතියි. ඉතින් එවැනි වෙනස් වූ අත්දැකීමක් ලබාගන්න යන්න හිතාගෙන ඉන්න, සොබා දහමේ අපූර්වත්වය විඳින්න කැමති කෙනෙක්ට නරඹන්න යන්න අපූරුම ස්ථානයක් ගැන කියන්නයි අද මගේ සූදානම.
අම්බලන්තොට නගරයට ආසන්නයේ පිහිටි නෝනාගම හන්දියේ සිට ඇඹිලිපිටිය පාරේ කිලෝමීටර් 16km පමණ ගොස් බරවකුඹුක හන්දියෙන් හැරී ලියන්ගස්තොට පාරේ කිලෝමීටර් 2km පමණ ගියවිට ජුලංගැටේ ග්‍රාම නිලධාරී වසම තුළ දී මේ කියන සුන්දර ස්ථානය දැක බලා ගැනීමට හැකියාව ලැබෙනවා.
සමනල කඳු මුදුනින් ආරම්භ වී කෙත් වතු දහස් ගණනක් සරුසාර කරමින් අම්බලන්තොට ගොඩවා යෙන් මහ මුහුද සිපගන්නා වළවේ ගං කොමළිය හරස් කරමින් ලියන්ගස්තොට ගම්මානයේ දී වේල්ලක් බැද ඉදිකර ඇති මේ ස්ථානය ලියන්ගස්තොට අමුණ පිහිටි ස්ථානයයි.
මේ ලියන්ගස්තොට අමුණ හැදුණු හැටි ගැන ජනවහරේ අපූරු ජනප්‍රවාදයක් පවතිනවා. ඉතින් ඒ පිළිබඳව මම දැන ගත්තේ මෙහි ප්‍රධාන මුරකරු වන යාපා මහත්මයාගෙන්. ඔහු පැවසූ පරිදි මේ අමුණ ගොඩනඟන වාරයක් වාරයක් පාසාම කඩා වැටීමට ලක් වීම නිසා මේ අමුණේ වැඩ නිම කරගන්න බැරිවෙලා තියෙනවා. ඊට විසඳුමක් විදිහට ඉංග්‍රීසි ජාතිකයන් බිල්ලක් දීමට කටයුතු කරන ලද බවත් එහිදී අසල බුලත්විට විකුණමින් සිටි මහලු මිනිසකුට කතා කර වල පෙන්වා " මගේ මුද්ද වළට වැටුණා එය අරන් දෙන්න " යයි පවසා වලට බැසීමට යනවිට ඉංග්‍රීසි ජාතිකයා විසින් මහලු මිනිසා වලට තල්ලු කර පස් දමා තද කරන ලද බවත් පවසනවා. ඉන්පසු අමුණ කඩන් නොවැටි දිගටම වැඩ අවසන් වන තුරුම කරගෙන යෑමට හැකි වූ බව ගම්වාසීන්ද පවසනවා.
1849 දී ඉංග්‍රීසි ජාතිකයන් විසින් නිර්මාණය කර ඇති මෙම අමුණ ලියන්ගස්තොට ගම්මානයට පමණක් නොව අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටම මිනිසා විසින් නිර්මාණය කර දායාද කළ විස්මිත නිර්මාණයක් ලෙසින් හඳුන්වන්න පුළුවන්. වලව දකුණු ඉවුර හා වම් ඉවුර පෝෂණයට උර දෙන ලියන්ගස්තොට අමුණ අද වෙන විට ප්‍රාදේශීය කෘෂි ආර්ථිකය නගා සිටුවීමට පණ පොවන ජීව උල්පතක් වෙලා තියෙනවා.
මේ අමුණ ළඟට ගිය විට අපට දැනෙන්නේ අපූරු චමත්කාරයක්. සුදෝ සුදු පාට පෙන බුබුළු නංවමින් ගලා හැලෙන දිය දහරාවන් ඒ අතරින් හමා එන සීතල සුළං, පක්ෂීන්ගේ නාදය ගත සිත වෙලා ගන්නේ මහ අමුතු මිහිරියාවකින්. ඒ විතරක් නෙමෙයි, අමුණේ ඉවුර දිගේ ගිහින් පොඩ්ඩක් පල්ලෙහාට බැහැලා තුරු වදුල යටට ගියාම ගතට දැනෙන සිසිලස කියලා නිම කරන්න බැහැ. අනෙක් පැත්තෙ වතුරේ සැඩ පාරට සේදී ගිය විශාල කුඹුක් ගස් වල මුල් පෑදිලා ඒවා එකට යා වෙලා ලස්සන රටා මවන වියමනක් බවට පත් වෙලා.








Comments
Post a Comment